← News & Events

Project update

දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන වාරියපොළදී ඇරඹේ

September 21, 2026

දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණය කරමින් බලපෑමට ලක් වූ ගොවි ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය 2026 සැප්තැම්බර් 19 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශයේ තෝරාගත් ගොවි ඉඩමකදී පැවැත්විණි.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව මඟින් වැඩසටහනේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කෙරිණි.
දිට්වා ආපදාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයට, විශේෂයෙන් ගව හා එළු පාලනයේ නිරත ගොවි ජනතාවගේ ගව හා එළු නිවාසවලට සැලකිය යුතු හානි සිදුවිය. එමඟින් බලපෑමට ලක් වූ ගොවීන්ගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ මැදිහත්වීමෙන්, ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ ක්‍රියාත්මක හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංරචකය (CERC) මඟින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන අතර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණික දායකත්වය සපයනු ලබයි.
දිට්වා ආපදාවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශයක් ලෙස වයඹ පළාත හඳුනාගෙන ඇති බැවින්, එම පළාතේ ගව හා එළු පාලනයේ නිරත ගොවි ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, වැඩසටහනේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා වාරියපොළ ප්‍රදේශය තෝරාගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ ආපදාවෙන් බලපෑමට ලක් වූ පළාත් 8ක ගව නිවාස 878ක් සහ එළු නිවාස 497ක් නවීකරණය කිරීම හෝ ඉදිකිරීම සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 1,178.5ක මුදලක් වෙන් කර ඇත.
මෙම වැඩසටහන මඟින් ආපදාවෙන් හානියට පත් පශු සම්පත් නිවාස යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, බලපෑමට ලක් වූ ගොවි පවුල්වල ආදායම් මාර්ග නැවත ගොඩනැගීමටත්, පශු සම්පත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සහ අනාගත ආපදා හා දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමටත් දායක වනු ඇත.
මෙම ක්‍රියාකාරකම IRDCRP ව්‍යාපෘතියේ හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංරචකය (CERC) යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වන අතර, ආපදාවෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සහ ඔවුන්ගේ ආර්ථික හා පශු සම්පත් ක්‍රියාකාරකම් නැවත සක්‍රීය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. රජය, ලෝක බැංකුව සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධ මැදිහත්වීමක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ආපදාවෙන් බලපෑමට ලක් වූ ගොවි පවුල් සඳහා තිරසාර ජීවනෝපාය ප්‍රතිසාධනයක් සඳහා දායකත්වය සපයනු ඇත.
Back to News